ආපදා තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු නැවත නගා සිටුවීම සඳහා අමාත්‍යාංශ සැලසුම්වලට සමගාමීව, යුනිසෙෆ් සංවිධානය විසින් “සාධාරණත්වය සහ ගුණාත්මකභාවය” යන තේමාව යටතේ සැකසූ යුනිසෙෆ් සැලැස්ම අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

“දිට්වා” සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් අඩපණ වූ මෙරට අධ්‍යාපන පද්ධතිය නැවත නගා සිටුවීම සඳහා යුනිසෙෆ් සංවිධානයේ ව්‍යාපෘති සැලැස්ම ඉදිරිපත් කිරීම සඳහා වූ සාකච්ඡාවක් ඊයේ (23) අධ්‍යාපන අමාත්‍යාංශයේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ යුනිසෙෆ් සංවිධානයේ නියෝජිත පිරිසක් අතර පවත්වා තිබෙනවා.

ආපදාවෙන් විපතට පත් පාසල්, විශ්ව විද්‍යාල, අධ්‍යාපන විද්‍යාපීඨ සහ වෘත්තීය පුහුණු ආයතන ඇතුළු සමස්ත පද්ධතිය තුළ සිටින සිසුන් සහ කාර්ය මණ්ඩල සම්බන්ධව මෙහිදී ප්‍රධාන අවධානය යොමු වී ඇති අතර, අධ්‍යාපන ක්‍රියාකාරකම් නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා එම ආයතනවල සිදු වූ හානියේ ස්වභාවය වර්ග කර, අවශ්‍ය ඒවා කඩිනමින් පිළිසකර කිරීම සහ සම්පූර්ණ වශයෙන් හානි වූ පාසල් වෙනුවට විකල්ප ඉගෙනුම් මධ්‍යස්ථාන සෑදීම වැනි යටිතල පහසුකම් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමත් එම සැලසුමේ අන්තර්ගත වේ.