ශ්‍රී ලාංකේය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ අභිමානය සහ කුසලතාව ජාත්‍යන්තර තලයට ගෙන යාම අරමුණු කරගත් “ශිල්ප අභිමානී – 2025/2026” ජාතික හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උළෙල ඊයේ (14) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මේ සඳහා සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කරන ලද්දේ,
ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගයෙන් ප්‍රසාරණය වෙමින් පවතින අවස්ථාවක, දේශීය ශිල්ප හා සාම්ප්‍රදායික නිර්මාණ ජාත්‍යන්තර වෙළෙඳපොළට රැගෙන යාම සඳහා විශාල ආර්ථික විභවයක් පවතින බවය.

වර්තමාන රජය පසුගිය වසර එකහමාරක කාලය තුළ ජාතික ශිල්ප සභාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය සහ ලක්ෂල ආයතන ශක්තිමත් කිරීමට කටයුතු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

2019 වසරෙන් පසු වසර හතකට පමණ පසුව ශ්‍රී ලාංකික ශිල්පීන්ගේ නිර්මාණ ඇතුළත් විශාල ප්‍රදර්ශනයක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන බවත්, එහිදී ශිල්පීන් 500 දෙනෙකුට පමණ සිය නිර්මාණ හා කුසලතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

2027 වසරේදී ජාත්‍යන්තර මට්ටමේ ප්‍රදර්ශනයක් ආරම්භ කිරීමටත්, 2027 එක්ස්පෝ හරහා ශ්‍රී ලාංකික ශිල්පීන්ගේ කුසලතා ලෝකයට ඉදිරිපත් කිරීමටත් රජය සූදානම් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>