ශ්‍රී ලංකාවේ ශිල්පීන්ගේ නිර්මාණ ජාත්‍යන්තර වෙළෙඳපොළට රැගෙන යාම සඳහා අවශ්‍ය වෙළෙඳපොළ සහ අවස්ථා නිර්මාණය කිරීමට රජය කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකේය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ අභිමානය සහ කුසලතාව ජාත්‍යන්තර තලයට ගෙන යාම අරමුණු කරගත් “ශිල්ප අභිමානී – 2025/2026” ජාතික හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උළෙලට සහභාගී වෙමින් ඔහු මේ පිළිබඳව සඳහන් කරන ලදී.

ඒ සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සහය ලබාගනිමින් ජාත්‍යන්තර වෙළෙඳපොළට ගැළපෙන නිර්මාණ බිහි කිරීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ මඟපෙන්වීම ශිල්පීන්ට ලබාදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

ජාතික ශිල්ප සභාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය සහ ලක්ෂල ආයතන තුන ඒකාබද්ධ ක්‍රියාවලියකට ගෙන ඒම රජයේ ප්‍රධාන අරමුණක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

වසර ගණනාවකට පසුව ශිල්ප ප්‍රදර්ශනයක් පැවැත්වීමට හැකිවීම සතුටට කරුණක් වුවද, මෙය අපේක්ෂිත අවසන් මට්ටම නොවන බවත්, ඉදිරි වසරක් හෝ දෙකක් තුළ මීට වඩා ඉහළ මට්ටමකට ශිල්ප ක්ෂේත්‍රය ගෙන යාමට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ, ශිල්ප ක්ෂේත්‍රය යළි ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරි වසර කිහිපය සඳහා මුදල් වෙන් කර ඇති බවය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>