“ශිල්ප අභිමානී 2025” ජාතික හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උලෙළ අද (14) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. ඊට සමගාමීව හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය සහ අලෙවි පොළද අද දින ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කරන ලද්දේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මූලික අවධානය යොමු කළේ අදාළ ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීමට බවය.

එමෙන්ම වසර එකහමාරක කාලයක් තුළ ජනතාව අපේක්ෂා කළ සියලු සේවාවන් ලබාදීමට නොහැකිවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කරන ලදී.

වසර දහස් ගණනක් පුරා පැවත එන මෙරට ශිල්පීය දැනුම හා කුසලතාව රටේ දැවැන්ත ජාතික සම්පතක් බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, එය සංස්කෘතික වටිනාකමකට පමණක් සීමා නොවී ආර්ථික වශයෙන්ද විශාල විභවයක් සහිත බව අවධාරණය කරන ලදී.

ශිල්ප ක්ෂේත්‍රයේ උරුමය පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යන අතරම, එම කුසලතා ආර්ථික අවස්ථා බවට පත් කිරීමට රජය කටයුතු කරන බවද,
ජාතික ශිල්ප සභාවේ ආයතනික ව්‍යුහය ශක්තිමත් කිරීම සහ ශිල්ප සමිති පිහිටුවීම හරහා ශිල්පීන් සමඟ සෘජු සම්බන්ධතාවයක් ගොඩනඟා ගැටලු සඳහා සංවිධිත විසඳුම් ලබාදීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>