අද (08) දින පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ, අධිවේගී මාර්ග භාවිත කරන සියලුම වාහනවල ඉදිරිපස හා පසුපස ආසනවල ගමන් කරන මගීන් සඳහා ආසන පටි (Seat Belts) භාවිතය අනිවාර්ය කර ඇති බවයි.
නිෂ්පාදකයා විසින් ආසන පටි නොසවි කර නිෂ්පාදනය කළ වාහන සඳහා ඒවා සවි කරගැනීමට 2025 සැප්තැම්බර් මාසයේදී නියෝග නිකුත් කළ බවත්, වාහන හිමියන්ට ලබාදුන් සහන කාලය දෙවරක් දීර්ඝ කිරීමෙන් අනතුරුව නැවතත් තවත් මාස තුනකින් දීර්ඝ කර සැප්තැම්බර් දක්වා අවස්ථාව ලබාදී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අවසාන මොහොත තෙක් බලා නොසිට වහාම ආසන පටි සවි කරගන්නා ලෙස වාහන හිමියන්ගෙන් ඉල්ලීමක් කළ අමාත්‍යවරයා, අධිවේගී මාර්ගවල පැයට කිලෝමීටර් 100ක පමණ වේගයෙන් ගමන් කරන බැවින් ආසන පටි නොපැළඳීම බරපතළ අනතුරු අවදානමක් බව ද අවධාරණය කළේය.
තුවාල ලැබූවන්ගේ ප්‍රතිකාර සහ අනතුරු හේතුවෙන් සිදුවන සමාජ වියදම් ද අවසානයේ ජනතා බදු මුදලින් දැරීමට සිදුවන බවත්, එබැවින් සියලුම මගීන් ආසන පටි භාවිත කිරීමට වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.





