බදුල්ල නගරය කේන්ද්‍ර කරගනිමින්, එය ක්‍රීඩා නගරයක් මෙන්ම නවීන ක්‍රීඩා සංකීර්ණයක් ලෙස සංවර්ධනය කිරීමේ මූලික සාකච්ඡා සහ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් ජූලි 07 වනදා බදුල්ලේදී සාර්ථකව පැවැත්විණි.
මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරුණේ බදුල්ල ක්‍රීඩාංගනය අදියර වශයෙන් ජාත්‍යන්තර මට්ටමේ නවීන ක්‍රීඩා සංකීර්ණයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳවය.
ඌව පළාතේ ක්‍රීඩා ක්ෂේත්‍රය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ලබන වසරේ සිට බදුල්ල ප්‍රදේශයේ පාපන්දු (Football) සහ රග්බි (Rugby) ක්‍රීඩාංගන කඩිනමින් දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමටත්, දැනට පවතින කසළ අංගනය සම්පූර්ණයෙන්ම ඉවත් කර, එම භූමිය ගෘහස්ථ ක්‍රීඩා (Indoor Sports) සඳහා භාවිතා කළ හැකි පරිදි නවීන පහසුකම් සහිතව සංවර්ධනය කිරීමටත්, බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තරඟ පැවැත්වීමට පහසු වන ආකාරයේ ගුණාත්මක මැද තණතීරුවක් (Center Pitch) සකස් කිරීමටත් මෙහිදී තීරණය විය.
මෙම විශේෂ නිරීක්ෂණ සංචාරයේදී වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය, බදුල්ල පාපන්දු ක්‍රීඩාංගනය, බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය, පැසිපන්දු (Basketball) ක්‍රීඩාංගනය සහ බදුල්ල පිහිනුම් තටාකය යන ස්ථානවල පවතින අඩුපාඩු සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂාවක් සිදු කෙරිණි.
බදුල්ල නගරයේ පවතින ප්‍රධාන ක්‍රීඩාංගනවල අඩුපාඩු කඩිනමින් සකසා, බදුල්ලට සුදුසු ඉහළ ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩා සංකීර්ණයක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව වන අතර, ඒ සඳහා අවශ්‍ය මූලික පියවර කිහිපයක් මේ වසරේදීම ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය මේ වන විටත් කටයුතු සූදානම් කර ඇත.





