අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සඳහන් කළේ, වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය හා ඔන්ලයින් ආරක්ෂාව සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.
ඔන්ලයින් සේෆ්ටි පනතට සංශෝධනයක් ලෙස ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරන බව පැවසූ අගමැතිනිය, මෙම ගැටලුව සමාජ මාධ්‍ය තහනම් කිරීමෙන් පමණක් විසඳිය නොහැකි බවද අවධාරණය කළාය.
ළමුන් සමාජ මාධ්‍ය ඔස්සේ මුහුණදෙන අවදානම් අවම කිරීම සඳහා අධ්‍යාපනය, දැනුවත් කිරීම සහ මානසික සෞඛ්‍ය උපදේශන ඇතුළු බහුවිධ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා සිදුකරන බව ඇය පැවසුවාය.
එමෙන්ම, යුනිසෙෆ් ආධාර ඇතිව විශේෂ කමිටුවක් පත්කර ඇති අතර, ශ්‍රී ලංකාවට ගැළපෙන ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනා මේ වසර තුළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවද අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.





