2026 වසර සඳහා සැලසුම් කර ඇති සංවර්ධන වැඩසටහන් වේගවත් කිරීම සහ ජනතාව මුහුණදෙන ප්‍රධාන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් මුලතිව් දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ජූනි 4 වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

වන්නි දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විස්තරාත්මක සාකච්ඡා සිදු කෙරිණි.

සංවර්ධන නිලධාරීන් සහ තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය පිළිබඳව අවධානය යොමු වූ අතර ඉදිරි මාස කිහිපය තුළ එම පුරප්පාඩු පිරවීමට අදාළ අමාත්‍යාංශ මට්ටමින් කඩිනම් පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
රෝහල්වල ඖෂධවේදීන්ගේ දැඩි හිඟයක්ද අනාවරණය වූ අතර අවශ්‍ය සංඛ්‍යාවෙන් 34 දෙනෙකුගේ හිඟයක් පවතින අතර දැනට 11 දෙනෙකු පමණක් සේවයේ නිරතව සිටින බව නිලධාරීහු පෙන්වා දුන්හ.

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස 1,121කට වන්දි ලබාදීමේ වැඩපිළිවෙළද සාකච්ඡාවට ලක්විය. එම පවුල් වෙත වන්දි මුදල් කඩිනමින් ලබාදීමට උපදෙස් ලබා දෙන ලදී. සුළි කුණාටුවෙන් හානි වූ වැව් දහයක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුද කමිටුවේ අවධානයට ලක් විය.