යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ පෙත්සම් 26ක් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නොවැම්බර් 9 වැනිදා අවසන් කළේය.
කෙටුම්පත පිළිබඳ සිය තීරණය ජනාධිපතිවරයාට සහ කථානායකවරයාට දැනුම් දෙන බව අධිකරණය සඳහන් කළේය. පෙත්සම් සලකා බැලුණේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරුවරුන් වන අචල වෙංගප්පුලි හා සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේ කෙටුම්පතට සංශෝධන කිහිපයක් හඳුන්වාදීමට රජය අදහස් කරන බවයි.
සැකකරුවකු රඳවා තබාගැනීමට යෝජිත පැය 72ක කාලය පැය 48 දක්වා අඩු කිරීම සහ අපරාධ කල්ලි සමඟ සම්බන්ධතා හඳුනාගැනීමට පච්චා හා ශරීර සලකුණු යොදාගැනීමේ විධිවිධාන ඉවත් කිරීම එම වෙනස්කම් අතර වේ.
බරපතළ අපරාධ නඩු පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත්කිරීමට පෙර අධිකරණ අවසරය ලබාගැනීමේ වගන්තිය ඉවත් කිරීමටද යෝජනා කර ඇත. සුරාබදු ආඥාපනත යටතේ වැරදි ඉවත් කිරීම සහ ප්‍රකාශන හිමිකම් සම්බන්ධ විධිවිධාන සංශෝධනය කිරීමද රජයේ යෝජනාවලට ඇතුළත්ය.
මෙම සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට නියමිතය.





