හම්බන්තොට වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ විකිණීමට එරෙහිව 2017 වර්ෂයේදී පවත්වන ලද විරෝධතාවකදී පොදු දේපළවලට හානි කිරීමේ චෝදනාවට අදාළව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 41 දෙනෙකුට එරෙහිව අද (16) හම්බන්තොට මහාධිකරණයේදී අධිචෝදනා පත්‍ර භාර දෙනු ලැබීය.

අධිචෝදනා භාරදීමෙන් අනතුරුව, සියලුම විත්තිකරුවන් රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු දුමින්ද මුදුන්කොටුව නියෝග කළේය. එමෙන්ම, අදාළ විත්තිකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරමින්ද අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබ තිබේ.

මෙම නඩුවේ 35 වන විත්තිකරු ලෙස නම් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන අතර, ඔහු කොළඹ මහාධිකරණයේ පැවති වෙනත් නඩුවකට පෙනී සිටීම හේතුවෙන් අද දින හම්බන්තොට මහාධිකරණයට ඉදිරිපත් නොකළ බව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දී ඇත.