උතුරු හා නැගෙනහිර ඇතුළු රටේ සංවර්ධනය අඩු ප්‍රදේශ සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත පවසයි.

අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කරන ලද්දේ රාජ්‍යමානික්‍ය මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාව තුළ උතුරු ප්‍රදේශයට පමණක් අරමුදලක් පිහිටුවීමක් සඳහන් කර නොමැති බවය.

එම යෝජනාව සමස්ත ශ්‍රී ලංකාව තුළ හඳුනාගත් සංවර්ධනය කළ යුතු ප්‍රදේශ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බවත්, එය ජාතිවාදී කෝණයකින් නොබලා සමබර සංවර්ධනයක් සඳහා යොදාගත යුතු බවත් ඔහු පැවසීය.

දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධනය ඉහළ මට්ටමක පැවතියද, එම දිස්ත්‍රික්ක තුළම සංවර්ධන විෂමතා සහිත ප්‍රදේශ පවතින බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව, රට පුරා සංවර්ධනය අවශ්‍ය ප්‍රදේශ හඳුනාගෙන ඒවාට ගැලපෙන සංවර්ධන වැඩපිළිවෙළක් සකස් කිරීම වඩාත් සුදුසු බවත්, ආණ්ඩුවේ අරමුණ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම බවත් දිනේෂ් හේමන්ත වැඩිදුරටත් සඳහන් කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>