වසර හතකට පසු නැවත වරක් සංවිධානය වූ ශ්‍රී ලාංකේය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ අභිමානය සහ කුසලතාව ජාත්‍යන්තර තලයට ගෙන යාම අරමුණු කරගත් “ශිල්ප අභිමානී – 2025/2026” ජාතික හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උළෙල ඊයේ (14) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මේ සඳහා සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ නිර්මාණකරුවන්ගේ සහ ශිල්පීන්ගේ කුසලතා ජාත්‍යන්තර වෙළෙඳපොළට ගෙන යමින් ශිල්ප කර්මාන්තය නව තලයකට ගෙන ඒමට රජය කටයුතු කරන බවය.

ඔහු සඳහන් කරන ලද්දේ දේශීය ශිල්ප නිර්මාණ සංචාරක ක්ෂේත්‍රය සමඟ බද්ධ කරමින් නව ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කළ හැකි බවත් ශිල්ප කර්මාන්තය හරහා ඩොලර් බිලියනයක පමණ ආර්ථිකයක් ගොඩනැගීමේ හැකියාවක් පවතින බව‍ත්ය.

ජාතික ශිල්ප සභාව සහ ජාතික මෝස්තර මධ්‍යස්ථානය එක්ව ශිල්පීන්ගේ කුසලතා සංවර්ධනය කිරීමට සහ ඔවුන්ගේ නිර්මාණ ලෝකයට හඳුන්වාදීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

එසේම අහිමි වෙමින් පවතින සාම්ප්‍රදායික ශිල්ප කුසලතා යළි ප්‍රතිසංස්කරණය කර අනාගත පරපුරට ලබාදීමද රජයේ අරමුණ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

2027 වසරේදී ජාත්‍යන්තර මට්ටමේ ප්‍රදර්ශනයක් පැවැත්වීමටත්, 2027 එක්ස්පෝ හරහා ශ්‍රී ලාංකික ශිල්පීන්ගේ නිර්මාණ ලෝකයට ඉදිරිපත් කිරීමටත් අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>