පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ජාතික රුධිර සංචිත පවත්වා ගෙන යාමේ අර්බුදයක් පැන නැගී ඇති බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ පවසනවා.

ඒ අනුව ජාතික රුධිර පාරවිලයන සේවයේ ජාතික පද්ධතිය පවත්වා ගෙන යාම සඳහා දිනකට රුධිර ඒකක 1400 ත් 1500 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය බවද, එයින් 85% ක ප්‍රමාණයක් ලැබෙන්නේ ජංගම රුධිර කඳවුරුවලින් බවද ඔහු ප්‍රකාශ කර සිටියා.

පවතින අයහපත් කාලගුණය සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් ජංගම රුධිර කඳවුරු පැවැත්වීමට හැකියාවක් නොමැති නිසා දිනකට අවශ්‍ය රුධිර ඒකක ප්‍රමාණයද නොලැබෙන බව ඔහු සඳහන් කළා.

මේ නිසා පිහිටුවා ඇති රුධිර බැංකු මධ්‍යස්ථාන වෙත පැමිණ පරිත්‍යාගශීලී ජනතාවට රුධිර දායකත්වය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් එදිරිසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.