2019 වසරේදී ඉදිකිරීම් ආරම්භ කර විවිධ හේතු මත අතරමග නතර වී තිබූ සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් ඊයේ (28) යළි ආරම්භ කරන ලදී.

එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරන ලද්දේ රාජ්‍ය කාර්යාල නිලධාරීන්ගේ තනතුරු, බලය හෝ පෞද්ගලික ප්‍රතිරූපය ප්‍රදර්ශනය කරන ස්ථාන බවට පත් නොකළ යුතු බවය.

විශාල කාර්යාල, පුටු සහ අධික ඉඩකඩ තුළින් නිලධාරීන්ගේ තනතුරු ප්‍රදර්ශනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

මහජන මුදලින් ඉදිකරන රාජ්‍ය ගොඩනැගිලි ජනතාවට බියක් හෝ අපහසුතාවක් ඇතිවන ආකාරයෙන් නොව, තමන්ගේම ස්ථානයක් ලෙස දැනෙන පරිසරයක් සහිතව නිර්මාණය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

රට පවත්වාගෙන යන්නේ බදු ගෙවන ජනතාවගේ මුදලින් බැවින් රාජ්‍ය ආයතන වෙත පැමිණෙන ජනතාවට තමන් ගෞරවයෙන් පිළිගැනෙන බව දැනිය යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

නිලධාරීන්ගේ ආකල්ප වෙනස් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා කාර්යාල පරිසරයද වෙනස් කළ යුතු බවත් සඳහන් කළ අමාත්‍යවරයා, සෙත්සිරිපාය තුන්වන අදියර ජනතාවට වඩාත් හිතකර හා සුහද පරිසරයක් සහිතව සැලසුම් කළ යුතු බවත් ඔහු අවධාරණය කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>