සංවිධානාත්මක අපරාධ කණ්ඩායමකට ටී-56 ගිනිඅවියක් සහ ජීව පතොරොම් 30ක් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රතු වරෙන්තු නිකුත් කිරීමෙන් පසු ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත.
ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 26 හැවිරිදි මෙම සැකකරු ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන ආ පසු නොවැම්බර් 26 වැනිදා අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් භාරයට ගෙන තිබේ.
සැකකරු 2025 වසරේ පෙබරවාරි 08 වැනිදා අදාළ ගිනිඅවිය සහ ජීව පතොරොම් අලෙවි කර මෙරටින් පළා ගොස් සිටි බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් සිදු කරනු ලබයි.





