අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනය රටවල් 13කට සහ යුරෝපා සංගමයට නව ආනයන බදු පැනවීම හේතුවෙන්, ශ්‍රී ලංකාවට වැඩි අපනයන ප්‍රමාණයක් අමෙරිකාව වෙත යොමු කිරීමට අවස්ථාව සැලසෙනු ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා නෙත් නිවුස් සමඟ සාකච්ඡාවකදී පැවසීය.

තරඟකාරීව අමෙරිකාවට රෙදිපිළි සහ ඇඟලුම් ඇතුළු භාණ්ඩ යවන රටවල් කිහිපයකටද මෙම බදු පැනවීම බලපාන බැවින්, එම භාණ්ඩවල මිල ඉහළ ගොස් ඉල්ලුම අඩු වුවහොත් එම අවස්ථාව ආදේශ කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතින බව ඔහු පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් සියයට 23ක් හෝ 24ක් පමණ දැනටමත් අමෙරිකාවට යවන බවත්, එම ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවත් මහාචාර්ය අතුකෝරළ මහතා සඳහන් කළේය.

ඉහළ යා හැකි ඉල්ලුමට සරිලන සැපයුමක් සැපයීම සඳහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කර, ලැබෙන ඇනවුම් බාධාවකින් තොරව ඉටු කිරීමට අවශ්‍ය පරිසරය සකස් කළ යුතු බවද ඔහු කීවේය. නිෂ්පාදන, බෙදාහැරීම් සහ අපනයන කටයුතු පෞද්ගලික අංශය මඟින් සිදු කෙරෙන බව පෙන්වා දුන් ඔහු, මෙතෙක් අපනයන ක්ෂේත්‍රයට පිවිස නොමැති සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට අවශ්‍ය තොරතුරු ලබා දී ඔවුන් සවිබල ගැන්වීමට රජය මැදිහත් විය යුතු බවද අවධාරණය කළේය.

නිෂ්පාදන අංශවල අධික ධාරිතාව සහ නිෂ්පාදන පිළිබඳව සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව ට්‍රම්ප් පරිපාලනය මෙම නව ආනයන බදු පනවා ඇති බව වාර්තා වේ. ඒ අනුව යුරෝපා සංගමය සමඟ චීනය, සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව, කාම්බෝජය, තායිලන්තය, දකුණු කොරියාව, වියට්නාමය, තායිවානය, බංග්ලාදේශය, ජපානය සහ ඉන්දියාව එම ලැයිස්තුවට ඇතුළත් වන අතර, කැනඩාව ඇතුළත් නොවන බව සඳහන් වේ.

මෙම තීරණය යටතේ වැඩිම බදු ප්‍රතිශතයක් වන සියයට 40ක් දක්වා බද්දකට චීනයටත්, සියයට 35ක් දක්වා බද්දකට වියට්නාමයටත්, සෙසු රටවලට සියයට 15ත් 25ත් අතර බදු ප්‍රතිශතයක්ද පනවා ඇති බව වාර්තා වේ. එහෙත් ඇතැම් රටවල් සමඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ඇති කරගත් වෙළඳ ගිවිසුම්වල බදු සීමා හේතුවෙන් සැබෑ ලෙස අය කරන බදු ඊට වඩා අඩු වනු ඇති බවද සඳහන් වේ. මීට අමතරව බ්‍රසීලයෙන් ආනයනය කරන සීනි සහ නිමි ගුවන් යානා සඳහාද නව බදු පැනවීමට අමෙරිකාව සැලසුම් කර ඇති බව වාර්තා වේ.