නව පරිසර නිලධාරීන් 281 දෙනකු මධ්‍යම පරිසර අධිකාරියට බඳවා ගැනීමේදී දේශපාලන මැදිහත්වීමක් හෝ දේශපාලන වුවමනාවක් සිදු වූ බවට එල්ල වන චෝදනා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි ප්‍රතික්ෂේප කර ඇත.

ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණය සහ පාරිසරික කළමනාකරණය ශක්තිමත් කිරීමේ අරමුණින් නොවැම්බර් 25 වැනිදා පරිසර අමාත්‍යාංශයේදී අදාළ පිරිසට පත්වීම් ලිපි ලබා දුන් බව වාර්තා වේ. එහෙත් එම බඳවා ගැනීම් සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව විසින් චෝදනා එල්ල කර තිබූ අතර, ඒ පිළිබඳව නෙත් නිවුස් කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ප්‍රතිචාරය දක්වා තිබේ.

බඳවා ගැනීම් සිදු කර ඇත්තේ දේශපාලන බලපෑම් හෝ මැදිහත්වීම්වලින් තොරව, සාධාරණ නිර්ණායක සහ දක්ෂතා මත බව ඇන්ටන් ජයකොඩි මහතා පැවසීය. කිසිදු නීතිමය ගැටලුවක් පවතී නම් එය පෙන්වා දිය හැකි බවද ඔහු සඳහන් කළේය.

බඳවා ගැනීමේ විභාග ක්‍රියාවලිය පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, විභාග දෙපාර්තමේන්තුවේ ක්‍රියාපටිපාටියට අනුව විභාග ලකුණු සහ සම්මුඛ පරීක්ෂණ ලකුණු සම්බන්ධ ක්‍රියාවලිය සිදු නොවන බැවින් එම කටයුත්ත වෙනත් රජයේ ආයතනයකට භාර දුන් බවයි. මේ අතර වසර තුන-හතරක පළපුරුද්දක් සහිතව පරිසර නිලධාරීන්ගේ රාජකාරි ආවරණය කළ සංවර්ධන නිලධාරීන් සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බවත්, ඒකාබද්ධ සේවය තුළ සිදු විය හැකි අසාධාරණකම් වළක්වා විභාග ක්‍රමය ඔස්සේ බඳවා ගැනීමට තීරණය කළ බවත් ඔහු පැහැදිලි කළේය.

වසර 29කට පසු මෙතරම් විශාල පරිසර නිලධාරීන් පිරිසක් එකවර රාජ්‍ය සේවයට එක් කර ගැනීම විශේෂත්වයක් බව පරිසර අමාත්‍යාංශය සඳහන් කර ඇත.