වලංගු වීසා බලපත්ර නොමැතිව ශ්රී ලංකාවේ රැඳී සිටීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්රිනී ඩයනා ගමගේට දඬුවම් නියම කිරීම සඳහා නඩුව ජනවාරි මස 14 වැනිදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නොවැම්බර් 26 වැනිදා නියම කළේය.
2015 වසරේ ජූලි 16 වැනිදා සිට 2016 වසරේ ජූලි 16 වැනිදා දක්වා කාලය තුළ වලංගු වීසා බලපත්ර නොමැතිව ශ්රී ලංකාවේ රැඳී සිටි බවට ආගමන හා විගමන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබිණි.
නොවැම්බර් 26 වැනිදා පෙරවරුවේ නඩුව කැඳවූ අවස්ථාවේ ඇප මත සිටි ඩයනා ගමගේ මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය. එහිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහාන් සෙනෙවිරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේ, මෙම චෝදනාවලට නිවැරදිකරු බවට මීට පෙර ඉදිරිපත් කළ විත්තිවාචකය ඉවත් කරගෙන අදාළ චෝදනාවලට ඇය වරද පිළිගන්නා බවයි.
එම කරුණ සටහන් කරගත් කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා, දඬුවම් නියම කිරීම සඳහා නඩුව ජනවාරි 14 වැනිදා යළි කැඳවීමට නියම කළේය. ඊට පෙර විත්තිකාරියගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙසද මහේස්ත්රාත්වරයා නියෝග කළේය.



