“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ රතු නිවේදන නිකුත් කර ඇති සැකකරුවන් 68 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන නීතිය ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පවසයි. තවත් සැකකරුවන් 112 දෙනෙකු ලබන වසර වන විට මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

මෙම සැකකරුවන් රටවල් 13ක සිටින අතර, ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ඔහු පැවසීය.

මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳව අද (29) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන ලද්දේ, 2024 සිට 2026 ඔක්තෝබර් 28 දක්වා රුපියල් මිලියන 4,695ක වටිනාකමකින් යුත් දේපළ රජයට පවරා ගැනීමට සැලසුම් කර ඇති බවය.

එමෙන්ම, විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 5,743 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 450 දෙනෙකුගේ නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරේ.

පසුගිය වසර දෙක සහ 2026 ඔක්තෝබර් 28 දක්වා කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 4,483ක්, අයිස් කිලෝග්‍රෑම් 7,129ක්, ගංජා කිලෝග්‍රෑම් 33,277ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 333ක් අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා හඳුන්වා දී ඇති 1818 කෙටි දුරකථන අංකයට ඒ සම්බන්ධ තොරතුරු දැනුම් දෙන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.