මෙරට වෙළාගෙන ඇති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය සමාජයෙන් මුලිනුපුටා දැමීම උදෙසා ශ්‍රී ලංකා නාවික හමුදාව පෙන්වන අසමසම දායකත්වය නිරීක්‍ෂණය කිරීමත්, එම වැඩසටහන නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිසි මගපෙන්වීම් සහ උපදෙස් ලබා දීමත් අරමුණු කරගනිමින් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා ඊයේ (21) දින අකුරේගොඩ පිහිටි නාවික හමුදා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරිය නිරීක්‍ෂණය කරන ලදී.
එහි දී ‘රටම එකට’ වැඩසටහන යටතේ නාවික හමුදාව විසින් ඉටු කරනු ලබන මෙහෙවර, එහි වත්මන් ප්‍රගතිය සහ මත්ද්‍රව්‍ය ජාලයන් මැඬලීම සඳහා භාවිත කරන නූතන උපායමාර්ගික ක්‍රමවේදයන් පිළිබඳව නාවික හමුදාධිපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාව සවිස්තරාත්මකව දැනුවත් කරන ලදී.
නිරීක්‍ෂණ චාරිකාව අවසානයේ අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, දිවයින වටා මුහුදු කලාපය ආවරණය කරමින් නාවික හමුදාව අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන සුවිශේෂී මෙහෙයුම් සහ ඔවුන් ඉටු කරන එම ප්‍රශංසනීය කාර්යභාරය සිය විශේෂ ඇගයීමට ලක් කළේය.





