ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනය කරා ගමන් කරන අතර, ආර්ථික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කරමින් පැමිණෙන ආයෝජකයින් සහ සංචාරකයින් සාදරයෙන් පිළිගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ඊයේ (26) දින පැවති ඉන්දියාවේ 77 වන ජනරජ දිනය සහ ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය සමරන විශේෂ සැමරුම අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

ඇය වැඩිදුරටත් පැවසූයේ, 1949 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා – ඉන්දියානු සංගමය දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට දශක හතකට වැඩි කාලයක් දායක වී ඇති බවයි.

විශේෂයෙන් දිට්වා සුළි කුණාටුවේදී සහ ධාතුන් වහන්සේලා මෙරටට වැඩම කරවීමේදී ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් සහන සහ සහයෝගය ඉතා වැදගත් බවද ඇය අවධාරණය කළාය.

ඇමරිකානු ඩොලර් මිලියන 454ක දිගුකාලීන සහන පැකේජය සහ ඉන්දියාව සමග තිරසාර සංවර්ධන සහයෝගය ශ්‍රී ලංකාව අගය කරන බවද අග්‍රාමාත්‍යවරිය මෙහීදී සඳහන් කළාය.