මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රධාන ක්‍රීඩාංගන තුනක් ජාතික මට්ටමට සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඊයේ (11) දින නිල වශයෙන් ආරම්භ කෙරිණි.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘති සඳහා මුල්ගල් තැබීම සිදු විය.

මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රීඩා පිටි නවීන ධාවන පථ, මලල ක්‍රීඩා පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම්වලින් සංවර්ධනය කිරීමට නියමිත අතර, උතුරු පළාතේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා වර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ, “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම අනුව උතුරටත් දකුණටත් සමාන සංවර්ධන අවස්ථා හිමිවිය යුතු බවත්, රටේ කිසිදු දරුවෙකුගේ ක්‍රීඩා දක්ෂතාවයක් පහසුකම් නොමැතිකම නිසා යටපත් වීමට ඉඩ නොතබන බවත්ය.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්, ප්‍රාදේශීය නියෝජිතයන්, ක්‍රීඩා නිලධාරීන්, පාසල් දරුවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එක්ව සිටියහ.