මේ වන විට රට තුළ පොහොර හිඟයක් නොමැති අතර, අවශ්‍ය තොග ප්‍රමාණවත් ලෙස පවතින බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කරන ලද්දේ, මහ කන්නයේ වී වගාවට අවශ්‍ය TSP සහ MOP පොහොර ප්‍රමාණවත් ලෙස රට තුළ තිබෙන අතර, යූරියා සම්බන්ධයෙන් පැවති සුළු හිඟය නව නැව් මගින් පුරවා ගැනීමට කටයුතු කර ඇති බවයි.

ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාමත් සමඟ පොහොර මිටියක සිල්ලර මිල රු. 17,000ක් දක්වා ඉහළ ගිය අවස්ථාවක, රජය මැදිහත් වී එය රු. 10,200 දක්වා පහත දැමීමට හැකිවී ඇත. ගොවීන්ගේ මූල්‍ය බර සැහැල්ලු කිරීම සඳහා පොහොර සහනාධාරයද ඉහළ නංවා ඇති අතර, මීට පෙර හෙක්ටයාර දෙකකට ලබාදුන් රු. 30,000ක සහනාධාරය නව ආණ්ඩුව පත්වීමත් සමග රු. 50,000 දක්වා වැඩි කර ඇති අතර මේ වන විට එය රු. 60,000 දක්වා ඉහළ නංවා ඇත.

අමාත්‍යවරයා අවධාරණය කළේ, ගොවීන්ට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීම රජයේ ප්‍රමුඛ වගකීමක් වන අතර, මේ මගින් කෘෂිකර්මය තිරසාරව පවත්වා ගැනීමටත්, ගොවියාගේ ආර්ථික බර සැහැල්ලු කිරීමටත් හැකිවන බවයි.