කැස්බෑව ප්‍රදේශයේදී 30 හැවිරිදි නර්තන ශිල්පියකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු 2026 නොවැම්බර් 28 වැනිදා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වූ තැනැත්තා මුරුතලාව – ඉලුක්තැන්න, කරුවලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි විවාහක නර්තන ශිල්පියකු වූ පී. ඩී. දුෂ්මන්ත සඳරුවන් බව හඳුනාගෙන තිබේ. ඔහුගේ සිරුර කහතුඩුව – හෙරලියාවල, පොල්ගස්ඕවිට දේවාල පාරේ පිහිටි පුරන් කුඹුරු යායක වළ දමා තිබියදී සොයා ගත් බව කැස්බෑව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාම බෙර වාදන ශිල්පීන් වන අතර, ඔවුන් අතර හිටපු යුද හමුදා සෙබළකු සහ දේවාලයක කපුවකු ලෙස කටයුතු කරන පුද්ගලයකු සිටින බව පොලිසිය පවසයි. ඝාතනයට ලක්වූ නර්තන ශිල්පියා එම සැකකරුවන් තිදෙනාගේම මිතුරකු බවද අනාවරණ වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20, 36 සහ 37 යන වයස්වල පසුවන පොල්ගස්ඕවිට, කහපොළ සහ මඩපාත ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වේ.

ප්‍රධාන සැකකරු වන හිටපු හමුදා සෙබළාගේ බිරිඳට නර්තන ශිල්පියා අයුතු යෝජනාවක් කළ බව කියන සිද්ධියක් මෙම ඝාතනයට මුල් වී ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ. ඒ අනුව පෙරහරක නර්තනයකට සහභාගී වීමට ඇති බව පවසමින් 2026 නොවැම්බර් 23 වැනිදා සැකකරුවන් ඔහු කැස්බෑව ප්‍රදේශයට ගෙන්වා ගෙන ඇති බව පොලිසිය පවසයි.

පැමිණි නර්තන ශිල්පියා කහතුඩුව – හෙරලියාවල දේවාල පාරේ පිහිටි ඊශ්වර දේවාලය පිටුපස කාමරයකට රැගෙන ගොස් පොලු මුගුරුවලින් පහර දී ඝාතනය කර ඇති බවද පොලිසිය සඳහන් කරයි. ඝාතනයෙන් පසු සිරුර විශාල ගමන් බෑගයකට දැමීමට සැකකරුවන් උත්සාහ කර ඇති නමුත් එය කළ නොහැකි වීමෙන් අලවංගුවකින් පහර දී සිරුරේ අස්ථිවලට හානි කර ඇති බවද විමර්ශනවලදී හෙළි වී ඇත.

අනතුරුව සිරුර ගමන් බෑගයක දමා ඝාතනය සිදු කළ ස්ථානයේ සිට මීටර් 300ක් පමණ දුරින් පිහිටි පුරන් කුඹුරු යායකට රැගෙන ගොස් වළ දමා ඇති අතර, ගමන් බෑගයද ඒ අසල ඉවත දමා තිබියදී සැකකරුවන්ගේ ප්‍රකාශ මත පොලිසිය සොයා ගෙන තිබේ.

මේ අතර සිය සැමියා අතුරුදන් වී ඇති බවට ඝාතනයට ලක්වූ නර්තන ශිල්පියාගේ බිරිඳ 2026 නොවැම්බර් 24 වැනිදා පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. කැස්බෑව ප්‍රදේශයේ මිතුරෙකු හමුවීමට යන බව සිය සැමියා අවසන් වරට දැනුම් දුන් බව ඇය පොලිසියට පවසා තිබූ අතර, ඒ ඔස්සේ කැස්බෑව පොලිසිය සිදු කළ විමර්ශනවලදී මෙම තොරතුරු අනාවරණ වී ඇත.