අමෙරිකාවේ දකුණු කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් 2026 නොවැම්බර් 28 වැනිදා හටගත් මැග්නිටියුඩ් 5.0ක භූ කම්පනය හේතුවෙන් ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තයක වීදුරු ජනේල බිඳී ගොස් සිවිලිම් කොටස් කඩා වැටී ඇති බව NDTV උපුටා දක්වමින් වාර්තා වේ.
භූ කම්පනය හටගත් අවස්ථාවේ ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට සූදානම් වූ ඩෙල්ටා ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක්, ධාවන පථයට හානි සිදුවී ඇත්දැයි තහවුරු කර ගැනීමට නොහැකි වීම නිසා ගොඩබැස්වීම අත්හිටුවා යළි ගුවනට නැංවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූ කම්පනයත් සමඟ ගුවන්තොටුපොළේ සිටි මගීන් කලබලයට පත් වූ අතර ඇතැමුන් හඬා වැටුණු බවත් තවත් පිරිසක් බිම වැතිරී සිටි බවත් වාර්තා වේ.
ලොස් ඇන්ජලීස් නගරයට ආසන්න මෑන්හැටන් වෙරළට ඔබ්බෙන් මෙම භූ කම්පනය හටගත් බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇති අතර, ඉන් අනතුරුව පසු කම්පන රැසක්ද වාර්තා වී තිබේ.
මේ අතර භූ කම්පනයත් සමඟ දකුණු කැලිෆෝනියාවේ ෂෙව්රොන් තෙල් පිරිපහදුවක ස්වයංක්‍රීය ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් එහි ගිනිදැල් සහ දුමාරයක් දක්නට ලැබුණු බව සඳහන් වේ. එය පාලනය කරන ලද ක්‍රියාවලියක් බවත්, අවට ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවත් අදාළ සමාගම නිවේදනය කර ඇත.
හානි තක්සේරු කිරීම සඳහා ලොස් ඇන්ජලීස් ගිනි නිවීමේ මධ්‍යස්ථාන 100කට අධික සංඛ්‍යාවක නිලධාරීන් යොදවා ගොඩබිම, ගුවන සහ මුහුද ඔස්සේ විශේෂ පරීක්ෂාවක් සිදු කළ බව වාර්තා වේ. ඉන් අනතුරුව නගරයේ ප්‍රධාන යටිතල පහසුකම්වලට සැලකිය යුතු හානියක් හෝ පුද්ගලයන්ට තුවාල සිදු වීමක් වාර්තා වී නොමැති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
වසර ගණනාවකට පසු ලොස් ඇන්ජලීස් ප්‍රදේශයෙන් වාර්තා වූ ප්රබලතම භූ කම්පනවලින් එකක් ලෙස මෙය සැලකිය හැකි බව භූ කම්පන විද්‍යාඥ ලුසී ජෝන්ස් පවසා ඇති අතර, තවදුරටත් පසු කම්පන ඇති විය හැකි බැවින් අවධානයෙන් සහ සූදානමින් සිටින ලෙස කැලිෆෝනියා හදිසි සේවා බලධාරීන් ජනතාවට දැනුම් දී තිබේ.



