‘දිට්වා’ ආපදා තත්ත්වයෙන් කොලොන්නාව ආසනයේ අර්ධ හානිවූ නිවාස සඳහා වන්දි ප්‍රදානය කිරීමේ අටවන අදියර යටතේ නිවාස හිමියන් 1,119 දෙනෙකුට වන්දි චෙක්පත් පිරිනැමීම ඊයේ (08) කොලොන්නාව පුරාණ විහාරස්ථානයේදී සිදු කෙරිණ.

නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී, කොලොන්නාව ආසනයේ ග්‍රාම නිලධාරී වසම් 20ක පදිංචිකරුවන්ට වන්දි ප්‍රදානය කෙරිණ.

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා සඳහන් කළේ, හානිපූර්ණ වන්දි වැඩසටහන යටතේ මේ වන විට නිවාස හිමියන් 8,200කට පළමු වාරිකය ගෙවා අවසන් කර ඇති අතර, මේ වසර අවසන් වීමට පෙර අනුමත චක්‍රලේඛ අනුව සියලු හානි සඳහා වන්දි ගෙවීම අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම, පූර්ණ හානිවූ නිවාස සඳහා වන්දි ගෙවීම ද ආරම්භ කර ඇති අතර, සුදුසුකම් ලැබූ නිවාස හිමියන් තිදෙනෙකුට පළමු වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් චෙක්පත් ප්‍රදානය කෙරිණ. මෙම අවස්ථාවේදී කොලොන්නාවේ ගංවතුර පාලනය සඳහා දිගුකාලීන සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.