ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි ආචාර්ය සිරී වෝල්ට් මහත්මිය සහ ශ්‍රී ලංකා – ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදයේ සභාපති මෙන්ම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා අතර හමුවක් ඊයේ (08) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

වසර දෙකක ධුර කාලය අවසන් කර සිය රට බලා පිටත්ව යාමට නියමිත තානාපතිනිය හමු වූ අමාත්‍යවරයා, දශක හතකට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාව හා ස්විට්සර්ලන්තය අතර පවතින රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇය ලබාදුන් දායකත්වය ඉහළින් අගය කළේය.

දෙරට අතර ආර්ථික, සමාජීය, දේශපාලනික සහ සංස්කෘතික සබඳතා වර්ධනය කිරීම, ශ්‍රී ලංකා – ස්විට්සර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය යළි සක්‍රීය කිරීම සහ දැනුම හා අත්දැකීම් හුවමාරුව සඳහා ලබාදුන් සහයෝගය ද අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය.

එමෙන්ම, ග්‍රාමීය දිළිඳුකම අවම කිරීම සහ ස්වාභාවික විපත් හා ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලංකාවට ස්විට්සර්ලන්තය ලබාදුන් සහයෝගය ද සිහිපත් කළ අමාත්‍යවරයා, තානාපතිනියට ඉදිරි කටයුතු සඳහා සුබ පැතුම් එක් කළේය.

මෙහිදී අදහස් දැක්වූ තානාපතිනි ආචාර්ය සිරී වෝල්ට් මහත්මිය, සිය ධුර කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් අමාත්‍යවරයාට සහ ශ්‍රී ලංකා රජයට ස්තුතිය පළ කළ අතර, ඉදිරියටත් ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක සඳහා තම සහයෝගය ලබාදීමට සූදානම් බව සඳහන් කළාය.