ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (09) පස්වරුවේ කළුතර බෝධිය අභියස පැවති මහා විහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 2026 උපසම්පදා රාජ්‍ය මහෝත්සවයට එක්විය.

මෙවර උපසම්පදා විනයකර්ම මහෝත්සවය වසර නවයකට පසු ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීම භාග්‍යයක් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

සදාචාරසම්පන්න සමාජයක් ගොඩනැගීම සඳහා සිල්වත්, ගුණවත් සහ නැණවත් සංඝයා වහන්සේගේ මෙහෙවර වර්තමාන යුගයේ අතිශය වැදගත් බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙම උපසම්පදා විනයකර්ම මහෝත්සවය පරමාදර්ශී භික්ෂු පරපුරක් බිහිකිරීමට ඉවහල් වේවායි ප්‍රාර්ථනා කළ ජනාධිපතිවරයා, එම උතුම් කර්තව්‍යයට මඟපෙන්වන උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු නිකායික මහා සංඝරත්නයට සහ දායක සභාවේ සියලු දෙනාට සිය ගෞරවය හා ප්‍රශංසාව පළ කළේය.