දරුවන්ගේ සංවර්ධනයේදී අධ්‍යාපනය, සෞඛ්‍ය සහ භෞතික ආරක්ෂාව මෙන්ම ඔවුන්ගේ චිත්තවේගීය සුරක්ෂිතතාව, ආත්ම විශ්වාසය සහ බියෙන් හා හිංසනයෙන් තොරව වැඩීමට අවශ්‍ය පරිසරයද වැදගත් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරන ලදී.

අද (01) ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශ්‍රවණාගාරයේදී පැවති කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මඟපෙන්වීමෙන් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව සංවිධාන කළ ළමා දින ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් ඇය මේ බව සඳහන් කරන ලදී.

ඇය සඳහන් කරන ලද්දේ දරුවන්ගේ මානසික තත්ත්වය අවබෝධ කරගෙන ඔවුන්ට ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම සමාජයේ වගකීමක් බවය.

තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය දරුවන්ගේ ඉගෙනුම් හා සන්නිවේදන ක්‍රම වෙනස් කරමින් පවතින බැවින් සයිබර් අවකාශය තුළින් සිදුවිය හැකි හිංසනයෙන් දරුවන් ආරක්ෂා කිරීමට අවශ්‍ය නීතිමය හා ආරක්ෂණ රාමු ශක්තිමත් කිරීමට රජය කටයුතු කරන බවද ඇය පැවසුවාය.

එමෙන්ම, දරුවන්ට ශාරීරික දඬුවම් ලබාදීමේ සමාජ ආකල්පය වෙනස් කිරීම, ආර්ථික සූරාකෑමෙන් දරුවන් ආරක්ෂා කිරීම සහ පෙරපාසල් අධ්‍යාපනය ප්‍රමිතිකරණය කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරන ලද්දේ පාසල් ප්‍රවාහන සේවාවල ආරක්ෂාව සඳහා නීති හා ප්‍රමිතීන් හඳුන්වාදීමටද අවධානය යොමු කර ඇති බවය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>