තමන්ට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කළ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අවබෝධයක් නොමැති බවත්, මහා සංඝරත්නය සම්බන්ධ නඩු විභාග කිරීමට සාමාන්‍ය මහේස්ත්‍රාත් අධිකරණයකට නෛතික බලයක් නොමැති බවත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ පවසති.

අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ උපවාසයේ නිරතව සිටින අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

මහා සංඝරත්නය සම්බන්ධ ගැටලු විභාග කිරීම සඳහා වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතු බවත්, පවතින මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ භික්ෂූන් වහන්සේලා සම්බන්ධ නඩු විභාග කිරීමට නෛතික ප්‍රතිපාදන නොමැති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

ත්‍රිකුණාමලයේ සිදුවීමට අදාළව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විහාරස්ථානයක දහම් පාසල් ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කර බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමට යාමේදී, පොලිසිය සහ නිලධාරීන් එක්ව ව්‍යාජ නඩුවක් ගොනු කළ බවටද උන්වහන්සේ චෝදනා කරති.

ත්‍රිකුණාමලය වෙරළ සංරක්ෂණ කලාපයේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරස්ථානය ඉදිරිපිට අනවසර ඉදිකිරීමක් සිදුකර බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටින බලංගොඩ කස්සප හිමියන්, අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා විසින් උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබේ.