ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා පෙරහර නැරඹීම සඳහා එක් වූ අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරන ලද්දේ, රටේ ජාතික අනන්‍යතාව සහ ජාතික සමගිය ශක්තිමත් කරන අවස්ථාවක් ලෙස පෙරහැර මංගල්‍ය හා ඊට සම්බන්ධ සංස්කෘතික උරුමයන් සැලකිය හැකි බවය.
උතුරේ දෙමළ ජනතාව සති ගණනාවක් පාගමනින් දේව මංගල්‍ය සඳහා සහභාගී වන බවත්, මුස්ලිම් ජනතාවද තමන්ට අනන්‍ය වූ ආගමික වතාවත් සමඟ එක්වන බවද
ලක්ෂ සංඛ්‍යාත සිංහල ජනතාවද දේවාලය, කිරි වෙහෙර සහ පෙරහැර මංගල්‍යය සමඟ සම්බන්ධ වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙවැනි අවස්ථා සියලු ජන කොටස් එකමුතු කරන වැදගත් අවස්ථා බවද පැවසීය.
විවිධ බෙදීම් සහ ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන යුගයක සාමය, සහජීවනය සහ එකමුතුකම ප්‍රවර්ධනය කරන මෙවැනි සංස්කෘතික උත්සවවල වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මෙවැනි ඓතිහාසික මහා මංගල්‍යයන් සාර්ථක කර ගැනීම සඳහා ආගමික නායකයන්ගේ මඟපෙන්වීම සහ කැපවීම විශාල දායකත්වයක් ලබාදෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේය.





