අවිහිංසාව, දයාව සහ සියලු සත්ත්වයන් කෙරෙහි පවතින අප්‍රමාණ මෛත්‍රිය පෙරදැරි කරගත් සම්බුදු දහමේ හරයන් තවදුරටත් අප ජීවිතවලට එක් කර ගැනීමට සියලු දෙනාට ආරාධනා කරමින්, සදහම් සිසිලෙන් සැම සිත් නිවී සැනසෙන අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා යැයි ප්‍රාර්ථනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරන ලදී.
වෙසක් සැමරුම යනු, ආගමික උත්සවයක් මෙන්ම, වසර දහස් ගණනක් පුරා ශ්‍රී ලාංකේය අනන්‍යතාව, සාමූහිකත්වය සහ කලාත්මක නිර්මාණශීලීත්වය විදහා දක්වන විශිෂ්ට සංස්කෘතික මංගල්‍යයක් බව වෙසක් පොහොය දින වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර තිබේ.
බුදු දහම යනු, සමස්ත ලෝකයටම ප්‍රායෝගික වූත්, සර්වකාලීන වූත් සාමයේ පණිවිඩය රැගෙන ආ ශ්‍රේෂ්ඨතම දාර්ශනික ඉගැන්වීමක් බවත්, සාමය, සහජීවනය සහ සංහිඳියාව පිළිබඳ පරමාදර්ශී පාඩම බුදුන් වහන්සේ මෙන්ම සියලු ශාස්තෘන් වහන්සේලා විසින් අනුදැන වදාළ ධර්මය වන බවත් එම පණිවුඩයේ සඳහන් වේ.
බාහිර ලෝකයේ සාමය ස්ථාපිත කිරීම සඳහා ප්‍රථමයෙන් පුද්ගලයාගේ අභ්‍යන්තර ආධ්‍යාත්මික සාමය තහවුරු විය යුතු බව ද, පොදු යහපත් අරමුණු වෙනුවෙන් සමාජය පෙළගැසීමට බුදු දහමින් පෙන්වා දෙන මෙම අභ්‍යන්තර සාමකාමී ප්‍රවේශය අන් කවරදාටත් වඩා අදට අදාළ වන බවද, පසුගියදා මෙරට පාද යාත්‍රාවේ නිරත වු වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ විසින්ද ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූයේ එම පණිවිඩය බවද ජනාධිපතිවරයා සිය වෙසක් දින පණිවුඩය මගින් පෙන්වා දී තිබේ.
වෙසක් සැමරුම හා සමගාමීව ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සංවිධානය කෙරෙන දාන, ශීල, භාවනා, ධර්ම දේශනා වැඩසටහන් මෙන්ම, ආමිස පූජාවන්ට මුල් තැන දෙමින් සංවිධානය කෙරෙන දන්සැල්, බොදු බැති ගී, අලංකාරවත් පහන් කූඩු, දර්ශනීය තොරණ, සැරසිලි ආදිය බෞද්ධයන් පමණක් නොව සියලු ආගම්වලට අයත් ලාංකිකයන්ගේ එකමුතුවෙන් විචිත්‍රවත් වන බවත්, ඒ අනුව සියලු ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, එකමුතුව සහ සහජීවනය වර්ධනය කෙරෙන වෙසක් සැමරුම සංහිඳියාවේ සංකේතයක් බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කරන ලදී.
ජනාධිපතිවරයාගේ වෙසක් දින පණිවුඩය පහතින්.






