විද්‍යාවේදී හෙද (BSc Nursing) උපාධිධාරීන් 515 දෙනෙකු වෙනුවෙන් පත්වීම් ප්‍රදානය කිරීම ඊයේ (29) දින පැවැත්වූයේ අමාත්‍ය නලින්ද ජයතිස්සගේද සහභාගීත්වයෙනි.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ, විද්‍යාවේදී හෙද උපාධිධාරීන් III ශ්‍රේණියේ තනතුරු සඳහා අවසන් වරට බඳවා ගැනීම් සිදුකර තිබුණේ 2021 වර්ෂයේදී බැවින් වසර පහක කාලයකට පසුව මෙම උපාධිධාරී හෙද බඳවා ගැනීම් නැවත රට වෙනුවෙන් සිදු කිරීමට ලැබීම අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවය.

එසේම 2025 – 2029 කාලසීමාව තුළ හෙද සේවයට අලුතින් 13,600 ක පිරිසක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත් එම ඉලක්කයෙන් 50% ක ප්‍රමාණයක්, එනම් හරි අඩක්ම මේ වසර අවසන් වනවිට සපුරාලීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කරන ලදී.

එසේම, ඉදිරියේදී සෞඛ්‍ය සේවයට එක්වීම වෙනුවෙන් දිවයින පුරා හෙද විදුහල් තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 7,800 කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් සිය වෘත්තීය පුහුණුව ලබමින් සිටින අතර, අනාගත සායනික සේවා අවශ්‍යතා සලකා බලා ජාතික හෙද අභ්‍යාස විද්‍යාල පද්ධතියට තවත් නවක සිසුන් 3,000 ක් බඳවා ගැනීම සඳහා වන අනුමැතිය ද මේ වන විට ලබාගෙන අවසන් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.