2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ ඊයේ (28) කැඳවනු ලැබීය.

අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් ලෙස මෝටර් රථයක් ධාවනය කරමින් සංදීප් සම්පත් නමැති පුද්ගලයාට තුවාල සිදු කිරීම, අනතුරෙන් පසු ඔහු රෝහලට ඇතුළත් නොකිරීම සහ එම අනතුර පිළිබඳව පොලිසියට වාර්තා නොකිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

අදාළ අනතුර සිදුවූ අවස්ථාවේ වාහනය ධාවනය කළේ හිටපු අමාත්‍යවරයාගේ රියදුරු බවට 2017 වසරේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීරණය කර තිබූ අතර, ඔහුට නියම කළ දඬුවම් ද මේ වන විට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර අවසන් වී තිබේ.
එවැනි පසුබිමක, එම සිද්ධිය සම්බන්ධයෙන්ම නැවතත් හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබීම විශේෂත්වයකි.

ඊයේ දින නඩුව කැඳවනු ලැබුවේ හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා විසින් අධිචෝදනා පත්‍රයේ නෛතික දෝෂ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මූලික විරෝධතාවය විභාග කිරීම සඳහාය.

අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා සඳහන් කරන ලද්දේ, අධිචෝදනා පත්‍රයේ චෝදනා නීතියට පටහැනි අයුරින් එකිනෙක බද්ධ කර ඇති බැවින් එම අධිචෝදනා පත්‍රය මත නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාම නීත්‍යානුකූල නොවන බවයි.

නඩු විභාගයක මූලික පදනම අධිචෝදනා පත්‍රය වන බැවින් එය නීතියට අනුකූලව සකස් කර තිබිය යුතු බව අවධාරණය කළ ඒ මහතා, අතීතයේ අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දු රැසක් උපුටා දක්වමින් නීතියට පටහැනි අධිචෝදනා පත්‍ර මත පවත්වාගෙන ගිය නඩු ඉහළ අධිකරණ විසින් නිශ්ප්‍රභ කර විත්තිකරුවන් නිදහස් කළ අවස්ථා රැසක් පවතින බවද පෙන්වා දුන්නේය.

ඒ අනුව සාධාරණ නඩු විභාගයක් සඳහා නීත්‍යානුකූල අධිචෝදනා පත්‍රයක් අත්‍යවශ්‍ය බැවින්, වත්මන් අධිචෝදනා පත්‍රය නිශ්ප්‍රභ කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මේ අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා සඳහන් කළේ, මෙවැනි මූලික විරෝධතා ඉදිරිපත් කිරීම මඟින් විත්තිය නඩු විභාගය ප්‍රමාද කිරීමට උත්සාහ දරන බවයි.

ඊට ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කළේ, විත්තිකරු හෝ විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ගේ නොපැමිණීම හේතුවෙන් මෙම නඩුව කිසිදු අවස්ථාවක කල් ගොස් නොමැති බවයි.

වැඩිදුරටත් කරුණු දැක්වූ ඒ මහතා පෙන්වා දුන්නේ, මෙම මූලික විරෝධතාව 2023 වසරේදී ලිඛිතව ඉදිරිපත් කර තිබියදීත් ඊට පිළිතුරු ලබාදීම සඳහා පැමිණිල්ල විසින් වසර තුනකට ආසන්න කාලයක් ගෙන ඇති බවය. එවැනි තත්ත්වයක් යටතේ විත්තිය නඩුව ප්‍රමාද කරන බවට කරන චෝදනාව පදනම් විරහිත බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම, විත්තිය මතු කළ නෛතික මූලික විරෝධතාවලට සෘජු නෛතික පිළිතුරක් ලබාදීම වෙනුවට ඒවා යටපත් කිරීමට උත්සාහ කරන බවත්, විත්තිකරු සම්බන්ධයෙන් වැරදි චිත්‍රයක් මවා අධිකරණයේ අවධානය වෙනතකට යොමු කිරීමට පැමිණිල්ල උත්සාහ දරන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මෙම මූලික විරෝධතාව සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශ කිරීම සඳහා නඩුව 2026 අගෝස්තු 3 වැනිදා දක්වා කල් තබන ලදී.