ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා කිතුනු බැතිමතුන් පාස්කු ඉරිදා උත්සවය සමරන අවස්ථාවට ජනාධිපතිතුමා විසින් විශේෂ පණිවුඩයක් නිකුත් කරන ලදී.

ජනපතිතුමා සඳහන් කරන ලද්දේ, ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය මනුෂ්‍යත්වය, ප්‍රේමය සහ දයා පිළිබඳ සදාතනික බලය සිහිපත් කරන බවයි. මරණය පරදා උත්ථානය ලැබූ යේසුස් වහන්සේ ලොවට පෙන්වා දුන්නේ අඳුර පරදා ආලෝකයත්, බිය පරදා විශ්වාසයත්, වේදනාව පරදා සදාකාලික ප්‍රීතියත් ජයගත හැකි බවයි.

ඉදිරියට යාමට එක්සත්භාවය අත්‍යවශ්‍ය බව අවධාරණය කළ ජනපතිතුමා, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලොව පුරා ජනතාව විඳින පීඩා පිළිබඳවද අවධානය යොමු කළේය. “යුද්ධය වෙනුවට සාමය සහ සහජීවනය සඳහා ලෝවැසි ජනතාවගේ ප්‍රාර්ථනාව මේ උතුම් පාස්කු උදාවේදී සාර්ථක වේවා” යැයි ඔහු ප්‍රකාශ කළේය.

ජනපතිතුමා තවදුරටත් කියා සිටියේ, යේසුස් වහන්සේගේ ඉගැන්වීම් අනුව අපගේ හදවත් ප්‍රේමයෙන්, ඉවසීමෙන් සහ සමාව දීමේ ගුණ දියෙන් පුරවාගෙන එකම ශ්‍රී ලාංකික පවුලක් ලෙස ඉදිරියට යා යුතු බවයි.

එසේම දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරන මෙම උතුම් පාස්කු දිනය සමරන සියලුම ශ්‍රී ලාංකික මෙන්ම ලෝවැසි කිතුනු බැතිමතුන්ට මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමන බවත් සැමට දයාවේ සහ සාමයේ පැතුම් ඉටු වන සුබ පාස්කු මංගල්‍යයක් වේවා යැයිද ජනපති සුභ පැතුම් එක් කරන ලදී.