අනුරාධපුර රුවන්වැලිසෑය අසල දන්සල් භූමියේ ඇති වූ කලහකාරී සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිව්නම සහ ගිහි පුද්ගලයින් තිදෙනා ලේඛනගත කර ඇති පරිදි නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබ ඇත්තේ ප්‍රතිකාර ලබමින් සිටි අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඊයේ (12) රාත්‍රියේ ගොස් සිදුකළ නිරීක්ෂණයකින් අනතුරුවය.
මෙහිදී සැකකාර පිරිසගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමටත්, ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සොයා බැලීම සඳහා විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් සිදුකිරීමටත් අධිකරණය විසින් නියෝග කර ඇත.
මීට අමතරව, පසුගිය 11 වැනිදා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර ඇති පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අදාළ අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කරන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට උපදෙස් දී තිබේ.
රුවන්වැලිසෑය අසල මාරාන්තික උපවාසයක නිරතව සිටි භික්ෂූන් වහන්සේ පිරිසක් වෙත භික්ෂූත්වයෙන් නෙරපා ඇති බවට සැකකෙරෙන රාජාංගණයේ සද්ධාරතන නමැත්තා ඇතුළු පිරිසක් පැමිණීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබුණි.
එහිදී ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ රාජාංගණයේ සද්ධාරතන නමැත්තා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබා අද පස්වරුවේ පිටව ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත්, මෙම සිද්ධිය පිටුපස රජයේ වුවමනාවක් තිබූ බවට විවිධ පාර්ශ්ව විසින් මේ වන විට චෝදනා නඟමින් සිටී.
