අයවැය හරහා රජය විසින් ජනතාවට ලබා දී ඇති සහන සම්බන්ධ සාකච්ඡාව යටපත් කර, විපක්ෂයට දේශපාලන කතාවක් නිර්මාණය කිරීමේ අරමුණින් ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම සිදු කර ඇති බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. අද (14) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙරට ගෑස් වෙළෙඳපොළෙන් 90%ක ප්‍රමාණයක් ලිට්‍රෝ ගෑස් හරහා සපයනු ලබන බවයි. නිල් පාට ගෑස් සිලින්ඩර් ලක්ෂ 20ක් මාසිකව පුරවන අතර, කහ පාට ගෑස් සිලින්ඩර් පුරවන්නේ ලක්ෂ 3ක් පමණක් බවත්, මිල වැඩිවීමක් සිදුව ඇත්තේ එම කහ පාට ලාෆ්ස් ගෑස් සමාගමේ බවත් ඔහු සඳහන් කළේය.

එම සමාගම පසුගිය කාලය තුළ බිලියන 10ක පමණ පාඩුවක් ලබා ඇති බවත්, 2019 වසරේ සිට නිසි පරිදි බදු ගෙවා නොමැති වීම මෙම අර්බුදයට මුල බවත් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.

අයවැයෙන් ජීවන වියදමට විශාල සහන ප්‍රමාණයක් ලබා දී ඇති මෙම අවස්ථාවේදී, එම මාතෘකාව මකා දමා ජනතාව තුළ නොසන්සුන්තාවක් ඇති කිරීම සඳහා මෙම මිල වැඩි කිරීම සිදු කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.