මෙරට ආනයන තීරුබදු ප්‍රතිපත්ති සහ වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මෙම කාරක සභාව රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇත.

මෙම රැස්වීමේදී ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සෝමසේන මහදිවුල්වැව මහතා විසින් ආනයන තීරුබදු ප්‍රතිපත්ති සහ වෙළෙඳ ගිවිසුම්වල වත්මන් තත්ත්වය පිළිබඳව කාරක සභාවට සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

ශ්‍රී ලංකාව මේ වන විට අත්සන් කර ඇති ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් ක්‍රියාත්මක වන ආකාරය මෙන්ම ඒවා ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

මීට අමතරව, දැනට සාකච්ඡා මට්ටමේ පවතින වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් සුදුසු ශක්‍යතා අධ්‍යයන සිදු කරමින් ඒවා අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාරක සභාව විසින් අදාළ බලධාරීන්ට දැඩි ලෙස අවධාරණය කරනු ලැබ ඇත.