හංගේරියාවේ හිටපු අගමැති වික්ටර් ඕර්බන්ගේ පාලන සමයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ Miklos Sesztakට එරෙහිව ක්‍රියාත්මක වන අල්ලස් විමර්ශනයක් අතරතුර අමෙරිකානු ඩොලර් මිලියන 20කට ආසන්න මුදලක් සොයාගෙන තිබේ.

හංගේරියානු බලධාරීන් පෙන්වා දී ඇත්තේ මෙම මුදල්වලින් කොටසක් වනාන්තර ප්‍රදේශවල වළ දමා තිබී ඇති අතර, තවත් කොටසක් ගොවිපළ ගොඩනැගිලි සහ ගබඩාවල සඟවා තිබූ බවයි.

ප්‍රකට රොයිටර් පුවත් සේවය වාර්තා කරන ආකාරයට, හිටපු අමාත්‍යවරයාට එරෙහිව මතුව ඇති දූෂණ සහ අල්ලස් චෝදනාවලට අදාළව සිදු කරන පුළුල් පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම මුදල් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

මේ අතර, දශකයකට අධික කාලයක් එනම් වසර 16ක් පුරා හංගේරියාව පාලනය කළ වික්ටර් ඕර්බන් පසුගිය අප්‍රේල් මාසයේ පැවති මහ මැතිවරණයෙන් පරාජයට පත්විය.

එම මැතිවරණ ජයග්‍රහණයත් සමඟ පීටර් මැග්යාර් එරට නව අගමැතිවරයා ලෙස බලයට පත්වූ අතර, යුරෝපා සංගමය සමඟ පළුදු වී තිබූ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි වර්ධනය කර ගැනීම සහ රට තුළ පුලුල් දූෂණ විමර්ශන ආරම්භ කිරීම ඔහුගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දු අතර විය.