ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීම, සත්ත්ව සුබසාධනය තහවුරු කිරීම සහ වීදි සතුන්ගේ ගහනය පාලනය කිරීම සඳහා නව ජාතික වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් රාජධානියේ Battersea හා ICAM-UK නියෝජිතයින් අතර අද (21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

මෙහිදී මෙතෙක් ක්‍රියාත්මක වූ සියයට 70ක එන්නත්කරණ ඉලක්කය වෙනුවට “No Dog Left Behind” වැඩසටහන හඳුන්වාදීමට යෝජනා කෙරිණි. එමඟින් කෙටි කාලයක් තුළ වැඩිම සුනඛ සංඛ්‍යාවකට වසර තුනක් දක්වා බලපැවැත්වෙන එන්නත් ලබාදී ජලභීතිකා ප්‍රතිකාර සඳහා වැයවන පිරිවැය අවම කළ හැකි බව විශේෂඥයෝ පෙන්වා දුන්හ.

පශු වෛද්‍ය හිඟයට විසඳුමක් ලෙස පළාත් පාලන ආයතන හරහා එන්නත්කරණය ක්‍රියාත්මක කිරීම, බස්නාහිර පළාතෙන් වැඩසටහන ආරම්භ කර දිවයින පුරා ව්‍යාප්ත කිරීම සහ ජාතික කාර්ය සාධක බලකායක් පිහිටුවීම පිළිබඳවද අවධානය යොමු විය.

ජලභීතිකා රෝගය තුරන් කිරීම රජයේ ප්‍රමුඛතාවක් බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, ඒ සඳහා අවශ්‍ය සියලු සහාය රජය ලබාදෙන බව සඳහන් කළාය.