පාලක දේශපාලන පක්ෂය ලෙස ජාතික ජන බලවේගයේ (NPP) සියලු සැලසුම් සහ දේශපාලන තීරණ පක්ෂ මූලස්ථානයෙන් සිදු කිරීම සාමාන්‍ය දේශපාලන ක්‍රියාවලියක් බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මීට පෙරද රට පාලනය කළ දේශපාලන පක්ෂ සිය මූලස්ථානවල සිට කටයුතු කළ බවත්, ඒ පිළිබඳ කිසිවකුටත් ගැටලුවක් නොතිබූ බවත්ය.

“සිරිකොතෙන් සහ ඩාලි පාරෙන් රට පාලනය වූ බවට චෝදනා නොතිබුණා. අද පැලවත්තෙන් පක්ෂය මෙහෙයවීම ගැන පමණක් ප්‍රශ්න මතු කරනවා,” යැයි ඔහු පැවසීය.

ජනතාව ඡන්දය ලබාදෙන්නේ දේශපාලන පක්ෂයකට මිස පුද්ගලයන්ට නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පක්ෂය දේශපාලන වශයෙන් මෙහෙයවීමත්, රටේ පාලනය නීතියට අනුව ආණ්ඩුව විසින් සිදු කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ සාමාන්‍ය අංගයක් බව අවධාරණය කළේය.

එබැවින් පක්ෂ මූලස්ථානයෙන් දේශපාලන තීරණ ගැනීම සම්බන්ධයෙන් අනවශ්‍ය මතභේද ඇති නොකරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.