බංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “අක්වාන්” සුළි කුණාටුව ඊයේ (17) සවස වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 630ක් පමණ දුරින් කේන්ද්‍රගතව පැවති අතර, එය අද (18) අලුයම වන විට ප්‍රබල සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය ඉදිරියේදී තවදුරටත් වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 20 වන දින වන විට ආන්ද්‍රා ප්‍රදේශ් සහ යනාමි වෙරළ අතරින් ඉන්දියාවට ඇතුළුවීමට වැඩි ඉඩකඩක් පවතියි.

මෙම තත්ත්වය හේතුවෙන් බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් නැවත දැනුම් දෙනතුරු වැළකී සිටින ලෙස කාලගුණ අංශ දැඩි ලෙස දැනුම් දී තිබේ. අදාළ මුහුදු ප්‍රදේශවල නියැලෙන ප්‍රජාවන් ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත්, කාලගුණ අනාවැකි පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත් ඉල්ලා සිටියි.

මේ අතර, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතියි. බොහෝ ප්‍රදේශවල අලුයම් කාලයේ මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙන අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.