මැදපෙරදිග කලාපයේ උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් ඉහළ යමින් පවතින අතර, ඉරානය සහ අමෙරිකාව අතර ප්‍රහාර හුවමාරු වෙමින් පවතින පසුබිමක කුවේටය ද ඩ්‍රෝන ප්‍රහාරවලට ලක්ව ඇති බව එරට හමුදාව පවසයි. X සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් කුවේට් හමුදාව සඳහන් කර ඇත්තේ, රට තුළ ඇසෙන පිපිරුම් හඬවල් ගුවන් ආරක්ෂක පද්ධති මඟින් ඩ්‍රෝන සහ වෙනත් සතුරු ප්‍රහාර වළක්වාලීමේදී ඇතිවන ශබ්ද බවය.

මේ අතර, හෝමූස් සමුද්‍ර සන්ධියේ පිහිටි ඉරානයට අයත් දකුණුදිග Qeshm දූපතේ ස්ථාන කිහිපයකට අමෙරිකාව ප්‍රහාර එල්ල කර තිබේ. බහරේනයේ පිහිටි අමෙරිකානු රේඩාර් පද්ධතියක් ඉලක්ක කරමින් ඉරානය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව ප්‍රකාශ කිරීමෙන් පැය කිහිපයකට පසුව මෙම ප්‍රහාරය එල්ල වී ඇත. Qeshm දූපතේ මිසයිල දියත් කිරීමේ ස්ථානයක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කළ බව අමෙරිකානු නිලධාරියෙකු අල්ජසීරා පුවත් සේවයට පවසා තිබේ.

ඉරානයේ දකුණුදිග හෝර්මොස්ගන් පළාතේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා නිල IRNA පුවත් ඒජන්සිය වෙත සඳහන් කර ඇත්තේ, මෙම ප්‍රහාරවලින් වාණිජ හෝ යටිතල පහසුකම්වලට කිසිදු හානියක් සිදුව නොමැති බවය. මේ අතර, බහරේනයේ ගුවන් හමුදා කඳවුරක පිහිටි අමෙරිකානු රේඩාර් පද්ධතියක් ඉලක්ක කරමින් ඉරාන ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල වූ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) තහවුරු කර ඇති අතර, එම ප්‍රහාර ගුවන් ආරක්ෂක පද්ධති මඟින් වළක්වා ඇති බැවින් අමෙරිකානු උපකරණවලට හෝ හමුදා සාමාජිකයන්ට කිසිදු හානියක් සිදුව නැත.