මධ්‍යම පරිසර අධිකාරිය විසින් අද (18) පෙරවරු 7.30ට නිකුත් කරන ලද වායු ගුණාත්මක දර්ශකයට (AQI) අනුව, දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමකට පත්ව තිබේ. ඒ අනුව, ඉහළම වායු ගුණාත්මක දර්ශක අගය වන 186ක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, කිලිනොච්චියෙන් 170ක් ලෙස සටහන් වී ඇත.

එමෙන්ම, බත්තරමුල්ල ප්‍රදේශයෙන් 166ක අගයක්, අනුරාධපුරයෙන් 165ක්, හලාවතින් 162ක්, ත්‍රිකුණාමලයෙන් 156ක් සහ අක්කරපත්තුවෙන් 154ක් ලෙස එම දර්ශක අගයන් වාර්තා වී තිබේ. මෙම ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමක පවතින බැවින් ජනතාවට විවිධ සෞඛ්‍යමය බලපෑම් ඇති වීමේ අවදානමක් පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.

මේ අතර, ඇල්ල ප්‍රදේශයේ වායු ගුණාත්මක දර්ශක අගය 101ක් ලෙස සටහන් වෙමින් සුළු වශයෙන් අහිතකර මට්ටමක පවතින අතර, රත්නපුරයෙන් 96ක අගයක් වාර්තා වීම මධ්‍යස්ථ මට්ටමක් ලෙස සැලකේ. වායු ගුණාත්මක දර්ශක වර්ගීකරණයට අනුව 151ත් 200ත් අතර අගයන් සෞඛ්‍යයට අහිතකර මට්ටමට අයත් වන බැවින්, අදාළ ප්‍රදේශවල ජනතාවට පූර්වාරක්ෂකව කටයුතු කරන ලෙස උපදෙස් දී ඇත.