වරදක් සිදු කරන පොලිස් නිලධාරීන්ට ආණ්ඩුවේ දේශපාලනඥයන්ගෙන් කිසිදු රැකවරණයක් නොලැබෙන බවත්, අදාළ අංශ හරහා නීතිමය හා විනයානුකූල පියවර ගනිමින් දශක ගණනාවක් පැවති අපරාධ සංස්කෘතිය වෙනස් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද (28) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රජය බලයට පත් වූ පමණින් සමස්ත පොලිස් සේවය ක්ෂණිකව යහපත් තත්ත්වයකට පත් වී නොමැති බවය. අවාසනාවන්ත සිදුවීම් එකක් දෙකක් සිදු වුවද, පෙර පැවති ක්‍රමය සහ වත්මන් තත්ත්වය අතර ප්‍රධාන වෙනසක් පවතින බවත්, පෙර කාලවලදී වැරදි කළ පොලිස් නිලධාරීන්ට හිතවත් දේශපාලනඥයන්ගේ ආරක්ෂාව හිමි වුවද දැන් එවැනි ආරක්ෂාවක් නොලැබෙන බැවින් අදාළ අංශ මඟින් සුදුසු පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
මෙරට පැවති අපරාධ සංස්කෘතිය වසර 30ක් හෝ 40ක් පමණ පැරණි එකක් බව පෙන්වා දුන් හර්ෂණ නානායක්කාර මහතා, අපරාධ සිදු කරන විට ඒවාට සහාය දීමට සහ ආවරණය කිරීමට දේශපාලනඥයන් හා ඇතැම් පාර්ශ්ව ක්‍රියාත්මක වූ බව කීවේය. අතීතයේ විවිධ පාලන සමයන්හි තත්ත්වයන් සිහිපත් කළේ කිසිවකුට දොස් පැවරීමේ අරමුණින් නොව, වසර 40කට පමණ පසු එම පාතාල සහ අපරාධ සංස්කෘතිය වෙනස් කිරීමට රජය මුහුණ දී සිටින යථාර්ථය පැහැදිලි කිරීමට බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

