බලයෙන් පහ කරන ලද බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ උපන් ගම වන ගෝපාල්ගන්ජ් සහ ඒ අවට ප්‍රදේශවල පාලක පක්ෂයේ ප්‍රාදේශීය නායකයකු ඝාතනය කිරීමත් සමඟ යළිත් ප්‍රචණ්ඩ ක්‍රියා හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉකුත් අඟහරුවාදා පොලිසිය සහ අවාමි ලීග් පක්ෂයේ ආධාරකරුවන් අතර ඇති වූ ගැටුම්වලදී බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) ප්‍රාදේශීය නායකයකු මියගිය බව වාර්තා වී තිබේ.

සැකකාර අවාමි ලීග් ආධාරකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ආරම්භ වූ මෙම නොසන්සුන්තා, ඉතා ඉක්මනින් දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලටද ව්‍යාප්ත වූ බව සඳහන් වේ. එම ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර පොලිස් ස්ථානයකට සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකුගේ නිවසකට ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රව්‍ය සහ වීඩියෝ සාක්ෂි උපයෝගී කරගනිමින් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව බංග්ලාදේශ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවද වාර්තා වේ.