දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ වැල්වැටිතුරෙයි නගර සභාවේ හිටපු නගරාධිපති එම්.කේ. ශිවාජිලිංගම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 69 වන වියේ පසුවූ අතර, මෑතකදී හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (14) රාත්‍රියේ ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

වඩමරච්චි, වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ උපත ලද ශිවාජිලිංගම් මහතා, දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (TELO) හරහා තම දේශපාලන ගමන ආරම්භ කළේය. අනතුරුව 2001 සහ 2004 යන වසරවලදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් යාපනය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු, උතුරු නැගෙනහිර ජනතාවගේ අයිතිවාසිකම් සහ ගැටලු වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතදීද දැඩිව පෙනී සිටියේය.

එමෙන්ම 2010 ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ඒ මහතා, 2013 වසරේ පැවති උතුරු පළාත් සභා මැතිවරණයෙන් ජයග්‍රහණය කර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය.

යුද්ධය නිමාවීමෙන් පසු උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවති විරෝධතා සහ උපවාස ව්‍යාපාර වෙනුවෙන් පුරෝගාමී දායකත්වයක් ලබා දුන් හෙතෙම, දෙමළ පක්ෂ එකතු කරමින් දෙමළ ජාතික සන්ධානය බිහි කිරීම සඳහාද ක්‍රියාකාරී මෙහෙවරක් ඉටු කළ අයෙකි. අභාවප්‍රාප්ත වූ ඒ මහතාගේ අවසන් කටයුතු යාපනය වැල්වැටිතුරෙයි හිදී සිදු කිරීමට නියමිතය.