ජපානයේ පදිංචිව සිටි ජනප්‍රිය ශ්‍රී ලාංකික අන්තර්ගත නිර්මාපිකා (Content Creator) ආශා නයෝමි වීරවර්ධන (නයෝමි චන්) අභාවප්‍රාප්ත වී තිබේ.
පළමු දරුවා ලැබීමට අපේක්ෂාවෙන් සිටි ඇය, දරු ප්‍රසූතියෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් ඊයේ (10) දින ජීවිතක්ෂයට පත්ව ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වේ. මියයන විට ඇය 33 හැවිරිදි වියේ පසුවූවාය.
මේ වන විට මෙම සිදුවීම මෙරට සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත.
Soka විශ්වවිද්‍යාලයෙන් 2022 වසරේදී උපාධිය ලබාගත් ඇය, ජපානයේ Amazon ආයතනයේ ද සේවය කර ඇත.
ජපානයේ ජීවන රටාව, ආහාර සංස්කෘතිය සහ සිය ජපන් ජාතික සැමියා සමඟ ගත කළ දෛනික ජීවිතයේ අවස්ථා වීඩියෝ මඟින් බෙදාහදා ගනිමින් ඇය මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් ලබා සිටියාය.
මියයෑමට දින කිහිපයකට පෙර ද ඇය සිය සැමියා සමඟ තම අපේක්ෂිත දරුවා වෙනුවෙන් අවශ්‍ය භාණ්ඩ සූදානම් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණි.
මේ අතර, ජපානයේ ජීවත් වන ඇයගේ නැගණිය වන අයේෂා වීරවර්ධන සිය ෆේස්බුක් ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ,
“රටක්, ලෝකයක් දන්න එයා මාව සදහටම මේ රටේ තට්ට තනියම තනිකරලා යන්නම ගියා. ඔයාලා වගේම මමත් කැමතියි මේක හීනයක් වෙනවා නම්. මම කැමතියි තව ටිකකින් කෝල් එකක් ඇවිත් ‘තමුසේ එනවා බබා හම්බුණා’ කියලා කියනවා නම්. මාත් කැමතියි ඒ ගැන දැනගන්න.
එයාට තියෙන ආදරයට ගොඩක් පින්. ඒවා එයා දැක්කා නම් එයා හරියට සතුටු වෙයි, එයාට ලංකාවේ ඉන්න මිනිස්සු කොච්චර ආදරෙයිද කියලා.
අනේ, මම කාරුණිකව ඉල්ලන්නේ, මට ඔයාලා දාන මැසේජ් සහ කෝල්වලට පිළිතුරු දෙන්න පුළුවන් මානසිකත්වයකින් නෙමෙයි මම ඉන්නේ. ඇත්තටම මම කැමතියි මගෙන් ඒ ගැන කවුරුත් අහන්නේ නැතුව ඉන්නවා නම්. දෙවියනේ, මගෙන් ඒ ගැන අහන්න එපා. මට ඒකට උත්තර දෙන්න බැහැ. අක්කා වෙනුවෙන් හැමදේටම මම හිටියට, අක්කාට මට පණ දෙන්න බැරි වුණා.
අක්කාගේ බබා දැන් වෙනත් රෝහලක ඉන්නේ. මේ වීඩියෝ එක කරන වෙලාවෙත් මම ෆෝන් එක ඕෆ් නොකර ඉන්නේ ප්‍රධානම වශයෙන් අක්කගේ අවසන් කටයුතු ගැන දැනගන්නයි, බබාට කොහොමද කියන එක දැනගන්නයි.
හීනයකින්වත් හිතුවේ නැහැ දෙවියනේ, හැමදේම හොඳින් කරගෙන යද්දී මෙහෙම දෙයක් වෙයි කියලා. අනේ මන්දා, හොරෙක් අරගෙන ගියා වගේ මගේ අක්කව. ඒ නිසා ඔයාලා එවපු හැම මැසේජ් එකකටම ස්තූතියි. ගොඩක් පින්. ඊයේ රෝහලටත් ගොඩක් කට්ටිය ආවා. ඒ හැමෝටම ගොඩක් පින්. බබාට කිරි දෙන්න මට කට්ටිය මැසේජ් කරලා තියෙනවා. ඒ නිසා ඒ දෙන හැම ආදරයකටම ගොඩක් පින්.
මේ වෙලාවේ මට කියන්න තියෙන්නේ, අක්කා නැතිවෙන්න හේතුව අක්කාගේ වෝටර් බෑග් එක යට වතුර ඉතුරු වෙලා, ඒක ඇලජික් එකක් වෙලා, ලේ පාලනය කරගන්න බැරුව අක්කාට සිහි නැති කරලා තමයි බබාව අරගෙන තිබුණේ. හිරි වට්ටලා නෙමෙයි. එහෙම කරලා එයාට සිහිය ගන්න බැරි වුණා. 11 ගණනේ ඉඳලා 7 ගණන වෙනකම් ඩොක්ටර්ස්ලා උත්සාහ කළා සිහිය ගන්න. පපුවට ගහලා උත්සාහ කළා සිහිය ගන්න. ඒත් හරි ගියේ නැහැ. බැරිම තැන අයියයි මායි කෑගැහුවා අක්කගේ කන් දෙක ළඟට වෙලා නැගිටින්න කියලා. ඇහිලාවත් නැගිටියි කියලා හිතුවා. දෙපාරක් නාඩි වැඩ කළා. ඒත් එයාට අල්ලගෙන ඉන්න බැරි වුණා දෙවියනේ.
දහසක් බලාපොරොත්තු තියාගෙන ඉස්පිරිතාලෙට අරගෙන ආපු බබාගේ බඩු හැමදේම දැක්කාම මට හිතාගන්න බැරි වුණා මම මොකක්ද කරන්න ඕනේ කියලා. දැනට එච්චරයි කියන්න පුළුවන්. මේ වෙලාවේ මට කියන්න වෙන කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. පවුලක වගකීම එයා මට නොකියම භාරදීලා යන්නම ගියා.
ඔයාලා එයාට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න. මගේ හිත එයාට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න ලෑස්ති නැහැ. එයාව කවුරුහරි හොරෙක් අරගෙන ගියා. එයා මැරුණේ නැහැ.”
ඇයගේ අභාවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් ශෝකය පළ කර තිබේ.

