සමගි ජන බලවේගයට බලය හිමි මහනුවර පන්විල ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජය කරන ලෙස දන්වමින් පක්ෂයේ මහ ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපියක් ලැබී තිබේ.
මෙම සිදුවීම හේතුවෙන් පන්විල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පාලක පක්ෂ මන්ත්‍රීවරුන් දැඩි විමතියට පත්ව ඇති බව වාර්තා වේ.
පන්විල ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර පෙරේරා මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කර ඇත්තේ සමගි ජන බලවේගයේ මහලේකම්වරයාගේ අත්සනින් යුතු අදාළ ලිපිය දැකීමෙන් තමා පුදුමයට පත් වූ බවයි.
පසුව ඒ සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ගෙන් කරුණු විමසූ බවත්, එහිදී එම ලිපිය අත්වැරදීමකින් සිදුවූවක් බව ඔවුන් ප්‍රකාශ කළ බවත් සභාපතිවරයා පැවසීය.
පසුගිය පළාත් පාලන ඡන්දයේදී පන්විල ප්‍රාදේශීය සභාව සඳහා සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් 06 දෙනෙකු තේරී පත්වූ අතර, සෙසු පක්ෂවල මන්ත්‍රී ධුර සංඛ්‍යාව සමඟ විපක්ෂය ඒකාබද්ධව ඡන්දය භාවිත කිරීමෙන් පසු සජබ වෙත සභාපති ධුරය හිමි විය.

