පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කල්තියා පුරෝකථනය කිරීමට අපහසු අන්දමින් හදිසියේ ඇතිවන ක්ෂණික ස්ථානීය තද වැසි හේතුවෙන් කඳුකර බෑවුම් ආශ්‍රිතව ජීවත්වන ජනතාව නිරන්තර දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා මේ බව සඳහන් කළේය.

නිල කාලගුණ අනාවැකිවලට හෝ දැනට සවිකර ඇති වර්ෂාමානවලට පවා කල්තියා හසු නොවන අන්දමේ දේශීය වැසි හටගැනීමේ ප්‍රවණතාවක් වර්තමානයේ පවතින බව සේනාධීර මහතා පෙන්වා දුන්නේය.

වර්ෂාමාන පිහිටි ස්ථාන අතර ඇති පරතරය හේතුවෙන් පහළ වායුගෝලීය ස්ථරවල හටගන්නා කුඩා කලාපීය වැසි උපකරණ මඟින් ග්‍රහණය කර ගැනීම අතිශය දුෂ්කර බව ඔහු පැහැදිලි කළේය.

මෑතකදී කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ සිදුවූ විශාල ගල් පෙරළීම සඳහා ආසන්න වර්ෂාමානවල සටහන් නොවූ එවැනි ක්ෂණික ස්ථානීය වැසි තත්ත්වයක් හේතු වූ බව ඔහු උදාහරණ දක්වමින් පෙන්වා දුන්නේය.

මෙම තත්ත්වය හමුවේ රජයේ ආයතනයකින් නිල නායයෑම් නිවේදනයක් නිකුත් වන තුරු බලා නොසිට, තමන් ජීවත්වන බෑවුම් පරිසරය පිළිබඳව නිරන්තර විමසිල්ලෙන් පසුවන ලෙස හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම ආපදා අවස්ථාවලදී සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන නොමඟ යවන සුළු තොරතුරුවලට නොරැවටී වගකිවයුතු රාජ්‍ය නිවේදන පිළිබඳව පමණක් විශ්වාසය තබන ලෙස ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.